පාළුව දෙවනත් කරලා | |
---|---|
ගායනය | ගුණදාස කපුගේ |
පද රචනය | රන්බණ්ඩා සෙනෙවිරත්න |
සංගීතය | ගුණදාස කපුගේ |
1971 විප්ලවයෙන් පසු පලා යන පිරිසක සැඟවුණු විප්ලවවාදියෙකු සටහන් කරන ලෙස මෙම ගීතය රචනා කර තිබෙනවා.
ගී පද[]
පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ
සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
ඇරඹුම[]
1971 අප්‍රේල් මස 5 වැනිදා ඇරඹුණු විප්ලවය අවසන් වන්නේ විප්ලවවාදීන්ට පරාජයක් අත්කරදෙමින්. විප්ලවයෙන් පසු පලා යන පිරිස වනගතව සඟවා ගත්තා. සැඟවුණු විප්ලවවාදියෙකුගේ සටහන් කරන ලෙස මෙම ගීතය රචනා කර තිබෙන්නේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා. 70 සහ 80 දශක වල කපුගේ සහ නන්දා මාලිනියන් විසින් මෙවන් විප්ලවවාදී ගීත රැසක ගායනා කරනු ලැබුවා. රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් එම ගීත ගොන්නට එකතු කල මේ ගීතය පසුගිය කැරැල්ලේ දුක්මුසු පරාජය අමතක කර නැවත පිබිදීමකට අත වැනීමක් ලෙස විචාරකයන් දක්වනවා. ගීතයේ පළමු භාගයේදී වනාන්තරයේ සැඟවී දුක් විඳින තරුණ ජීවිත ගැන කියන්නට උත්සාහ කරනවා. විප්ලවයේ පාරාජය ගැන දුක් වී පලක් නැති බවත් ධෛර්යයෙන් ඉදිරියට යා යුතු බවත් කියනවා. ගීතය අවසානයේ ඇසෙන වේගවත් රණබෙර වැනි සංගීත ඛණ්ඩය නැවත විප්ලවයකට කරන ආරාධනයක් වැනිය. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ ලෙසටම නැවතත් 1989 දී රට තුල විප්ලවයක් ඇරඹෙනවා.
විපලවවාදියෙකුගේ පමණක් නොව බහුතර ජනතාවගේ දුක ගැන පවසන්නට ඔහු උත්සාහ කර තිබෙනවා. විප්ලවය ගීතයේ එක් අර්ථයක් පමණයි. ගීතය රස විඳීන්නෙකුට තවත් පැත්තකින් ගීතය දෙස බැලිය හැකියි. දුක් කම්කටොලු මැද පැල් රකින ගොවියෙකු ලෙස සමහරුන් අර්ථ දක්වන්නට උත්සහ කරනවා. විවිධාකාරයෙන් අරුත් ගැන්වීමට හැකි වීම රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ගීත රචනයේ ප්‍රවීනත්වය පෙන්වන්නක්. ගීතයට දුක්බර සංගීතයක් මුසු කර ගායනා කළේ ගුණදාස කපුගේ මහතා. එතුමාගේ කටහඬ හා ගායන ස්වරය ගීතයේ අරුත් ප්‍රබල ලෙස විදහා පෑමට සහය වෙනවා.[1]
විචාරයන්[]
වනාන්තරය පාළු ය. ඒ පාළුව දෙවනත් වන්නේ උලලේනාගේ හඩිනි. මේ කැරලිකරුවාට ඊයේ මුණගැසුණු සහෝදර කැරලිකරුවන් අද ළඟ නැත. ඔහුට ඔවුන් සිහිවෙයි. සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. දරන්නට බැරි තනිකමක බර මේ මොහොතේ හිතට දැනෙයි.
”පාළුව දෙවනත් කරලා නාඬන් උලලේනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා උලලේනෝ.."
කැරලිකරුවෝ කීපදෙනෙක් වනාන්තරයේ තනිවී සිටිති. ඔවුන්ට මේ මොහොතේ උරුමව ඇත්තේ සීත සුළඟත් හිරිකඩත් පමණි. ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය සුණුවිසුණු වී ගොස් ය. උලලේනාට නම් පියාඹන්නට තටු ඇත. ඒත් වනාන්තරයේ තනිවූ මේ කැරලිකාර යෞවනයන්ට ඉතිරි වී ඇත්තේ ලී දඬු කපා අටවා ගත් කුඩා පැලක් පමණි. ඔවුන්ට වඩා නිදහසක් උලලේනාට ද ඇත.
”සීත සුළං හිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ උලලේනෝ..."
විප්ලවය පිළිබඳ බලාපොරොත්තු ඉහිරුණු කිරි කළයකට සමාන ය. යළි ඒ කිරි කළයට එකතු කළ නොහැකි ය. දැන් හිත හදාගත යුතුය. උලලේනා ද අඬාවැටෙන්නේ දුකකට විය යුතු ය. හඬා වැලපීමෙන් පලක් නැති බව උලලේනා ද ඉගෙන ගත යුතුªය. උලලේනාට ද ආත්ම ධෛර්යය දිය යුතු ය. ශෝකය දුක ඉදිරියේ විලාප දීමෙන් පලක් නොමැති බව උලලේනාට ද උගන්වන්නට තරම් ඔහු තුළ ආත්ම ධෛර්යය ඉතිරි ව තිබේ.
”ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ උඹටත් එක්කයි මම මේ කවිය කියන්නේ උලලේනෝ...."
එසේත් නැත්නම් උලලේනා වියෝ දුක කාට හෝ සන්නිවේදනය කරනවා විය යුතුය. එහෙත් මේ කිසිවකින් පලක් නැත. සංසාරයේ හැටි උලලේනා ද අවබෝධ කරගත යුතුය. ඊයේ තමා ළඟ සිටි මිත්‍රයන් වෙඩි උණ්ඩයකට ජීවිතය දන් දී තිබේ. සංසාරයේ දුක උලලේනාට වඩා හොඳින් මේ කැරලිකරුවා අවබෝධ කරගෙන සිටී. දේශපාලන විමුක්තියෙන් පවතින බව ඔහු ද පසක් කර ගනී.
”සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ උලලේනෝ"
විශේෂ තොරතුරු[]
යොමු[]
සින්දුව බාගතකරන්න/අහන්න[]
වීඩියෝව නරඹන්න []
- Youtube Video by Gihan Sky
- ගීතයේ පැරණි පටිගත කිරීමක් (Youtube video by Ruchira Bandara)
Search on [Youtube]