Geeyakawathagotha Wiki
Advertisement


අමරසිරි පීරිස්
"center"
සම්පූර්ණ නම සේනාධීරගේ අමරසිරි පීරිස්
උපත 1946 ජුලි 21
අධ්‍යාපනය බොරලැස්ගමුවේ ආනන්ද විද්‍යාලය,
මහරගම බුවනෙකබා මහා විද්‍යාලය


1946 ජුලි 21 දින උපන් සේනාධීරගේ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායකයකු මෙන්ම දක්ෂ වාදන ශිල්පියෙක්ද වේ. ගුවන්විදුලියේ වයලීන් වාදකයකු ලෙස සේවය කළ ඔහු ජනප්‍රිය ගීත රැසක් ගායනා කළේය. "හන්තානට පායන හඳ", "ඔබ ඇපල් මලක්" වැනි ඉතා ජනප්‍රිය ගීතද, චිත්‍රපට හා ටෙලි නාට්‍ය ගීත රැසක්ද ඔහුගේ ගැඹුරු හඬින් අලංකාර වී ඇත.

ගීත ගායනා[]

ජීවන තොරතුරු[]

ඇල්බට් පීරිස් හා ඇම්. කේ. ඇසිලින් යුවලගේ වැඩිමහල් දරුවා වූ අමරසිරි පීරිස් හට සොයුරියන් තිදෙනෙක් විය. කුඩා කල බොරලැස්ගමුව ආනන්ද හා මහරගම බුවනෙකබා විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ ඔහුගේ සිතට සංගීතය පිලිබඳ ඇල්මක් ඇති වූයේ සිය පියා නිසායි. පියා එකල රූපසිංහ මාස්ටර්ගෙන් සංගීතය ඉගෙනගත් ඔහු ඉතා සමීපයෙන් ඇසුරු කල පුද්ගලයෙක් විය. තාත්තා කොතෙක් සංගීතයට ලැදි වුවත් තම පුතා සංගීතය පැත්තට යොමු කිරීමට ඔහු අකමැති විය. සංගීතයට කැප වී දිවා රෑ වෙහෙස වී දුක් ගැහැට විඳින සැලසුමක් නැති ජීවිතය ඔහුට උරුම නොකිරීමට පියා සිතුවා විය හැකිය. එහෙත් අම්මා, පුතා සංගීත අංශයට යොමු කිරීමට රුකුල් දුන්නාය. ඔහුගේ බාප්පා වන වින්සන්ට් පීරිස් මහතාද එකල ඉතා හොඳ සංගීතඥයෙක් විය. බාප්පා පවත්වාගෙන ගිය සංගීත පන්තියට සහභාගී වූ අමරසිරි පීරිස් සාමාන්‍ය පෙළ විභාගයෙන් සංගීතය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට සමත් විය.

1962 වසරේ ඔහු රජයේ සංගීත විද්‍යාලයට ඇතුලත් වුණා. එහිදී ඔහුට අමරදේව ශූරීන් වැනි දක්ෂ ගුරුවරුන්ගේ මග පෙන්වීම ලැබුනා. වසර හයක් රජයේ සංගීත විද්‍යාලයේ වාදනය හා ගායනය හැදෑරු ඔහු 1967 වසරේ ඉන් සමත් වී ගුවන් විදුලියේ වාදක මණ්ඩලයට එක් විය. එකල වික්ටර් රත්නායකයන් හඳුනාගත් ඔහු 1970 දශකයේ විවිධ සංගීත අධ්‍යක්ෂ වරුන් යටතේ චිත්‍රපට 100ක පමණ පසුබිම් සංගීතයට හා ගීත වලට වයලීන වාදනය කළා.

ප්‍රේමසිරි කේමදාස මහතා සමග අමරසිරි පීරිස්ගේ තිබුණු සම්බන්ධය වසර 30ක් පුරා පැතිර ගිය එකකි. හිරු උදාව හා රතු මල් මුද්‍රා නාට්‍ය වල වයලීන වාදනයත් සමග ඇරඹි ඒ සුසංයෝගය ගොළු හදවත, දෑස නිසා, නිධානය,  බඹරු ඇවිත්, පාර දිගේ ඇතුළු කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කල චිත්‍රපට වල දක්නට ලැබිණි. ඉතා අහඹු ලෙස ඔහු ගීත ගායනය ආරම්භ කළේ "ළඳුනේ" ගීතය ගායනා කරමින්.

විශේෂ තොරතුරු[]

  • අමරසිරි පීරිස් මහතා ගීත ගායනය ආරම්භ කළ ආකාරය ඉතා රසවත්.

කේමදාස මාස්ටර් "පහන් කන්ද" කියලා කැසට් පටයක් සඳහා පසුබිම් සංගීතය පටිගත කොට ගීත පටිගත කරන්න සූදානම් වුණා. නීලා, අයිවෝ, ටී.එම්. ගීත කියලා ඉවර වෙලා එඩ්වඩ්ගේ ගීතය ගැයූ වේලාව. කෙසේ හෝ ඒ ගීත ගායනය ගැන කේමදාස මාස්ටර් සෑහීමකට පත් වුණේ නැහැ. කෙසේ හෝ එදා අනික් ගීත පටිගත කරලා වාදක මණ්ඩලය ගෙදර යන්න සූදානම් වුණා.

“අමරසිරි යන්න එපා. තව වැඩක් තියෙනවා”.

“ඇයි මාස්ටර්”

“සින්දුවක් කියන්න තියෙනවා”.

ඊට කලින් මාස්ටර් ටෙලි‍පෝන් එකෙන් කාටදෝ බනිනවත් මට ඇහුණා.

මාස්ටර් මට සින්දුව පෙන්නුවා.

“මාස්ටර් මේක මට හදපු එකක් ‍නෙවෙයිනේ. මම මාස්ටර් ගාව අවුරුදු ගණනාවක් ඉඳලා දුන්නෙත් අනුන් කියපු සින්දුවක්නෙ” මම අදිමදි කරමින් කිව්වා.

මාස්ටර් පෙරැත්ත කරනවා.

“මාස්ටර් වෙනම වෙලාවක අලුත් සින්දුවක් හදල දෙන්න” මම කිව්වා.

“විකාර කතා කරන්න එපා. හෙට මේක දෙන්න ඕනෑ”.

පෙර පුහුණුවීම් කරනවා දැකලා, ස්වරලිපි ලියල මට මේ ගීත කට පාඩම්. ඒක නිසා එක ටේක් එකකින්ම මම ගීතය කිව්වා. මේ ඒ ගීතයයි.

“ළඳුනේ, ඔබේ දෑස දැක ගත්තෙමි."[1]

  • කුඩා කල අමරසිරි පීරිස් දුම්රිය රියදුරෙකු වූ තම මාමාගේ රැකියාව ගැන ඉතා කැමැත්තෙන් පසුවිය. දිනක දුම්රිය රියදුරෙකු වන බවට සිතාගත් ඔහු තම පියාගේ සංගීත අභාෂය නිසාම ගීත ගායනයට යොමු විය.[1]

මූලාශ්‍ර[]

Advertisement